දෙවන කොටස මෙතැනින්
තෙවන කොටස මෙතැනින්
"අහහත්ත නේද දැන්? විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ මටනම්......"
කුසල් පැවසුවේ අමනාපයෙනි.
"අනේ වාසනාවන් උඹේ කට නම්,උඹ ඉතින් මුල ඉඳන්ම බැරි පැත්තටමනේ කතා කලේ."
"දැන් මගෙ කට හින්දද ඒකි බෑ කිව්වෙ?"
"ඔව් ඔව් එහෙම තමයි,කොහොමත් බෑ කියලා කිව්වෙ නෑ නෙ බං,මේ ආයෙ පාරක් හෙට අහමු.කෙල්ලො කොහොමත් ඔහොම තමයි.මුලින් කටේ තියෙන්නෙ "බෑ" කියන එක."
"උඹට ඔල්මාදෙ හැදීගෙන එනවද *#$$#*% කාපු චාටර් එක මදිද යකෝ"
"ඒ උනාට ඒකි බෑ කිව්වෙ නෑ නෙ බං....ඒක හින්දා ආයෙ පාරක් අහමු"
රවිඳුු උත්සාහය අත හැරීමට කිසිසේත්ම සූදාණම් නැති බව පෙනේ.
"උඹේ ලැජ්ජ නහරෙ නම් ඉපදෙද්දිම කපලා වගේ.......ඒ උනාට දැනගනිං මගෙ ඒ නහරෙ තාම කපලා නෑ"
"එහෙනම් දැන් කපාගනිං....." රවිඳු ඇසක් ඉගි මරමින් පැවසීය.
********************************************
සතියක කාලයකට පසුව විස්ඩම් අධ්‍යාපන ආයතනයේදී...........
වේලාව උදෑසන පහයි හතලිස් පහට පමණය.
"ගුඩ් මෝනිං මචං,අද කලනි අක්ක ආවද?"
රවිඳු class එකට පැමිණි වහාම කුසල්ගෙන් ඇසුවේය.
"ඔව් ඔව් බං ඔය එහාපැත්තෙ පෝලිමේ ඉන්නෙ කේක් ගෙඩිය වගේ,සිහිය එතනමයි නේද?"
කුසල් සිනාසෙමින් පැවසුවේය.
මා මෙසේ පවසන විට පහයි හතලිස් පහට පමණ පටන් ගන්නා class තිබේදැයි ඔබට සිතෙනු නොඅනුමානය.ඇත්තවශයෙන්ම මෙය අබුද්දස්ස කාලය නොවූවත් එහෙම ඒව නැතුවාම නොවේ.සමහරු පවසන ආකාරයට අබුද්දස්ස කාලයට ලබුත් තිත්ත වන්නේය,class පාන්දර පටන් ගන්නේය.සමහර විට මෙය අබුද්දස්ස කාලයේ ආරම්භක සමය වීමටද ඉඩ ඇත.කෙසේ හෝ මෙය පාන්දර ජාමයේම පටන් ගන්නා class එකකි.අවංකවම කියතොත් අබුද්දස්ස කාලය පිළිබඳව කොල්ලන් බිය විය යුතු නැත.මක් නිසාද යත් ඒ කාලයට වර්තමාන සාම්ප්‍රදාය වෙනස් වී කෙල්ලන් විසින් කොල්ලන්ගෙන් කැමැත්ත විමසන බව පුරාණ පුස්කොල පොත් පත් වල සඳහන් වන බැවිනි.අබුද්දස්ස කාලය පිළිබඳ කතා කරා ඇතිය.මෙය දුර දිග ගියතොත් කතාව ටැපලී ලියාගෙන යාම අපහසු වීමට ඉඩ ඇත.අපි නැවතත් කතාව දෙසට යොමුවෙමු.
මැද පේළියේ බංකුවක කෙළවරේම ඉඳගෙන සිටි කලනි තම මිතුරියකට මොනවාදෝ පවසමින් සිනාසෙන්නට විය.බොහෝ විට ඒ තමා පිළිබඳ උනන්දු වන අහිංසක කොල්ලා පිළිබඳ යමක් වීමට ඉඩ ඇත.සමහර විට ඇය පහුගිය සතියේ සිද්ධිය තම මිතුරියන්ට පවසමින් සිනාසෙනවා විය හැකිය.කොල්ලන් හෙනම පව් ය.ඔවුන් බොහෝ විට මෙවැනි දුක් කම් කටොළු වලට මුහුණ දෙති.මේ ලෝකයද හෙනම කූරය(ලිවීමේ පහසුව පමණක් සලකා කූර ලෙස ලිවීමි,මට සිංහල වලට හොඳ පාස් එකක් ඇත)මා සිතනා ආකාරයට මේ කොළු අයිතිවාසිකම් වෙනුවෙන් නැගී සිටීමට කාලයයි.ඔවුන්ගේ සියලුම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව බුද්ධිමත් කා හට වුවද තේරිය යුතුය.අපි මෙම සමාජ ක්‍රමය වෙනස් කල යුතුය.(මම JVP නොකරමි.මේවා හිතේ අමාරුවට කියන කතාය) දැන් මෙම කතාව යන්නේ කොහෙද මල්ලේ පොල් වී ඇති සැටියකි.මා හිතේ අමාරුවෙන් කල කතාව අසා සිටි ඔබ සැමට මාගේ ස්තූතිය පුද කරමි.මේ කතාව නහට අහන්නේ නැත.සෑමවිටම පිට පනිනවාය.ඒ පිළිබඳ මාගේ බවලත් කණගාටුව.
කාලය ගෙවී යන අතරතුර මා නෝට් කල එක දෙයක් ඇත.කලනිගේ බෙල්ල සෑම තත්පර තිහ හතළිහකට වරක්ම වටයක් කැරකේ(වටයක් කිව්වාට මෙම වටයට අංශක 180 කි) ඇත්තම කියතොත් ඒක මාරම බෙල්ලක්ය.සමහරවිට ආවර්තීය කියාකාරීත්වයක් ඇති මෝටරයක් හයි කරගෙන සිටිනවා විය යුතුය.නැත්තම් මෙළහකටත් එහි "පොට" ගොස් තිබිය යුතුය.(පොට කොහේ යන්නේදැයි නොඅසන්න.ඒවා තහනම් ප්රශ්නය) රවිඳුගේ බෙල්ලද ඒ හා සමාන සංඛ්‍යාතයකින් එහා මෙහා වන බව පෙනේ,එය ඌට ගානක් නැති සේය.එය එසේ විය යුතුය.මන්ද කොල්ලන්ගේ බෙලි වල පොට යන්නේ නැත.මම එය අත්දැකීමෙන්ම දනිමි.
class එක අවසන් වීමෙන් පසුව දෙමිතුරෝ එළියේ තිබූ කොට්ටං ගස යට සිටිනු පෙනිණි. (මා දන්නා තරමින් එය කොට්ටං ය)ඔවුන් දෙවන ලෝක යුද්ධයට සූදාණම් වන බවක් පෙනෙන්නට තිබිණි.
"ඒ බං වරෙන් යන්න.......අන්න අක්කා යනවා."
රවිඳු කුසල්ගේ අතින් අදිමින් පැවසීය.
"අදත් ඉඳලා ඉවරයි...."
මෙසේ පැවසූ අහිංසක කුසල් ඔහු පසුපසින් ගමන් කරනු පෙනිණි.
මතු සම්බන්ධයි.....