මා මේ ලියන කතාව සම්පූර්ණ සත්‍ය සිදුවීමකි.මෙහි එන නම් පමණක් මනඃකල්පිත වේ.මෙසේ පැවසීමෙන් මෙය මාගේ කතාවක් යැයි වැරදි වැටහීමක් ඔබ තුළ ඇතිවිය හැකිය ,නැත මෙය මගේ කතාවක් නොවේ.මගේම නොවුනත් මම මෙයට කොනකින් ගෑවී ඇත.සෑම සිදධියක්ම ඒ ආකාරයෙන්ම දන්නේ ඒ නිසාය.මෙය කිසිවෙක් අපහාසයට පත් කිරීමට හෝ අපහසුතාවයට පත් කිරීමට නොලියූ අතර හුදෙක් පාඨක රසවින්දනය පමණක් සැලකීමි.මෙමෙ කතාවේ එන සියලුම චරිත මෙමෙ බ්ලොග් සටහන කියවන බව මම හොඳාකාරවම දනිමි.මගේ වචයෙන් ලියූ ඔබේ කතාව පිළිබඳ ඔබේ අදහස් කොමෙන්ටුවක් මගින් හෝ ලබා දෙන්නේ නම් එය ඉතා අගය කොට සලකමි.(අනන්‍යතාවය රහිතව වූවාට කම් නැත)ඔබ කවුරුන්ද යන රහස මම රකිමි.එමෙන්ම කවුරුන් හෝ කෙනෙක් මෙය කියවා පුංචි හෝ රසවින්දනයක් ලැබුවේ නම් කොමෙන්ටුවක් පල කිරීමට තරම් කාරුණික වන ලෙස ඉල්ලා සිටිමි.මගේ මහන්සිය වෙනුවෙන් සිතට සතුටක් ලබා ගැනීමට එය මහෝපකාරී වනු ඇත.
"A යනු අණුක සූත්‍රය C7H9N වන ඇරෝමැටික භෂ්මයකි.එය ඇසිටිල් ක්ලෝරයිඩ් සමඟ B නම් සංයෝගයක් ලබා දෙයි. B, නයිට්රොකාරක මිශ්‍රණය වන සාන්ඳ්ර HNO3 හා......................."
විස්ඩම් අධ්‍යාපන ආයතනයේ උපකාරක පංතියක මැද පෝලිමක ඉඳගෙන සිටින පිරිමි ළමෝ දෙදෙනෙකි.එය කේසිරි විතානගේ විසින් මෙහෙයවන රසායන විද්‍යා පුනරීක්ෂණ පංතියක් බව පෙනේ ,නමුත් අනෙක් උසස් පෙළ පුනරීක්ෂණ පංති වල දැකිය නොහැකි විශාල වෙනස්කමක් මෙහි දැකිය හැකිය.සැබවින්ම කියතොත් පංතියේ සිසුන් අසාමාන්‍ය ලෙස නිෂ්ශබ්දය.එමෙන්ම ඇඟිල්ලක්වත් හොල්ලන්නේ නැති ගානය.මෙහි සිටින්නේ හොඳ ළමයි පිරිසක් විය යුතුය .බැලූ බැල්මට පෙනෙන්නේ එසේය .නමුත් පොත්ත බලා මදය පිළිබඳ අදහසක් ඇති කර නොගන්නා ලෙස අම්මා දුන් talk එකක් මට මතක් විය.සමහරවිට ගුරුවරයාගේ හොඳ කමද විය හැකිය ,මේ කතාව දුර දිග ගියා වැඩිය.එය අපිට අදාල නැත.කෙසේ හෝ පංතියේ විනය හොඳය,
එක්වරම මා කලින් සඳහන් කළ පිරිමි ළමුන් දෙදෙනාගෙන් එක් අයෙකු අනෙකාට වැලමිටෙන් අනිනු පෙනිණි.
"මොකද ඩෝ අනින්නේ? ඉස්සරහ බලං නෝට් එක ලියපං.කේසිරිය දැක්කොත් තොගෙයි මගෙයි දෙන්නගෙම බෙලි ගලවයි."
"කේසිරියා" යනු කේසිරි විතානගේ දේශකතුමා හැඳින්වීමට යොදාගත් කෙටි නමක් විය යුතුය.අපි පාසල් යන කාලයේද ගුරුවරුන් සඳහා විවිධ කෙටි නම් භාවිතා කෙළෙමු.ඒ හුදෙක් උච්චාරණ පහසුව තකා මිස,නිගරු කිරීමේ අදහසකින් නොවේ.මම දන්නා තරමින් නම් කේසිරි විතානගේ යනු අග්‍ර ගණයේ රසායන විද්‍යා ගුරුවරයෙකි.එතුමා මගේද ගුරුවරයෙක් වන්නේය.මා සතුව අංශුමාත්ර හෝ රසායන විද්‍යා දැනුමක් ඇත්නම් ඒ මේ ශ්‍රේෂ්ඨ ගුරුවරයා නිසා බව කිව යුතුමය,ඒ පාර කතාව පිට යනවාය ,පළපුරුදු රචකයෙක් නොවීම පිළිබඳ මම මටම දොස් පවරා ගනිමි,සමාවෙන්න..අපි නැවත කතාවට බසිමු.
"කෙල්ලෙක් උඹ දිහා බලන් ඉන්නවා,උඹට එහාපැත්තේ පෝලිමේ මෙහා කෙළවරේම ඉන්න කෙල්ල."
එකෙක් අනිකාගේ කනට කොඳුරනු පෙණිනි,
"තෝ හීනෙන්ද නැත්තම් ඔල්මාදෙන්ද?" අනෙකා හැරෙන තැපෑලෙන්ම දමා ගැසීය.
ඔහු එසේ කීවේ අවංකවම බව පෙණිනි.ඒ බව ඔහුගේ ඉරියව් වලින්ම පැහැදිලි විය .එක අතකට එය සාධාරණය.ඉස්සර අපි class යන කාලේ අපි දිහා කෙල්ලෝ බලන්නේ නැත.බැලුවොත් ඒ වැරදිලාය.නැත්තම් ඒකි වපරය.ඉඳහිට එසේ නොවන පිංවන්ත කොල්ලෝ නොසිටියාම නොවේ.ඒත් එය වෙනම කතාවකි.එක කතාවක් තුල කතා ගොඩක් ලිවීම හෙනම අමාරුය.මට එහෙම හැකියාවක් ඇත්තේද නැත.ඒ නිසා එක කතාවක් කියන එක හොඳය.
********************************************
විවේක කාලය ලැබීමෙන් පසුව දෙමිතුරෝ තම කෑම පාර්සල් ලිහනු පෙණිනි.ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකු කහ පැහැති ටී ෂර්ට් එකකින් හා කලු පැහැති ඩෙනිමකින් සැරසී සිටියේය.සාමාන්‍ය ප්‍රමාණයේ ශරීරයක් හිමි ඔහුට පළල් වූ නලලක් පිහිටා තිබිණි.ඔහු කෙරෙන් බුධිමත් ස්වභාවයක් දිස්විය.අපි ඔහු නමින් "රවිඳු" යැයි හඳුන්වමු.මේ අවස්ථාවේ මට වැරදුනා යැයි ඔබට සිතෙනු ඇත.හිතවත් පාඨකය..මට වැරදුනේ නැත.ඔහුගේ ඇත්ත නම මම ඔබට නොකියමි.ඔහුගේ මිතුරා අපි "කුසල්" යන නමින් හඳුන්වමු.
"මේ මේ,අන්න අර කෙල්ල ආයෙත් උඹ දිහා බලනවා"
ඒ කුසල් ගේ හඬයි.
"කව්ද බං ඔය කෙල්ල? පොඩ්ඩක් අයිං වෙයන් මට බලා ගන්න"
එවර නම් ඔහු කුසල්ගේ කතාව serious ගත් බව පෙනුණි.
"උඹ කිව්වා හරි බං,ඒකි බලනවා තමයි."
රවිඳුගේ කටහඬෙහි අමුතු උද්යෝගයක් ගැබ්වී තිබිණි.
"මම කිව්වෙ උඹට කලිනුත්,කොහෙද ඉතින් අපේ රැව්ල නෑ නේ,හරි හරි දැන් කාල හිටපන් කෙල්ලො talk කරන්න පුලුවන් පස්සේ."
මෙසේ පවසන අතරතුර කුසල් බත් පත කටට දෙකට ඉවර කලේය.කොහේදෝ කොනක තිබූ පපඩමක් රවිඳුග්ගේ කටට පැන ක්ෂණිකයෙන් අතුරුදහන් විය.ඔහුට දත් තිස් දෙකම ඇවිත් ඇති හැඩය.
"මට නං කාල ඇති බං."
පපඩම කටේ දමාගත් ඔහු පැවසුවේය.
"කෙල්ලෙක් දැක්කම කන එකත් අමතකද උඹට?,ඕන මගුලක් එහෙනම්,මටත් ඇති..යමු"
මිතුරන් දෙදෙන නැගිට ශාලාව පිටුපසින් නොපෙනී යනු පෙනිණි.
********************************************
විස්ඩම් ආයතනයේ ප්‍රධාන ගේට්ටුව අසළ දකුණු පස ටැප් ලයින් එකකි,විටෙක කොල්ලෝද එය ප්‍රයෝජනයට ගන්නා මුත් විවේක කාලයේදී ගැහැණු ළමුන් එහි නැවතී ඕපාදූප කතා කරමින් සිටිනු දැකගත හැකිය.මගේ නිගමනය නිවැරදිය.වරෙක උස් හඬින් සිනාසෙමින්ද වරෙක එකිනෙකා මෘදු ලෙස තල්ලු කරමින්ද ගැහැණු ළමුන් තිදෙනෙකු බර කතාවකය.එන්න....අපි හොරෙන් ඔවුන්ගේ කතාවට සවන් දෙමු.
"කොල්ල නම් ලස්සනයි,මම දැක්කා දෙතුන් පාරක් හැරි හැරී බලනවා...."
අප යන්තම් ප්‍රමාද වූ නිසා මුල් දෙබස් අපට මඟ හැරී ඇත,අපගේ කථා නායිකාවද මේ අතර සිටියාය.අනෙක් යුවතියන්ට වඩා මඳක් උසින් අඩු වූ ඇය සතුව අමුතුම ආකාරයේ ආකර්ශණීයත්වයක් තිබිණි.පිරිපුන් ළැම පෙදෙසක් හා සිහින් වූ ඉඟටියක් ඇය සතු වූ ඇතර ඇගේ ගමන් විලාශය පවා ආකර්ශනීය විය.
"අපි යමු.සර් ක්ලාස් එකට එන්න හදන්නේ"
ඇයගේ මිණි කිංකිණි හඬට සොයුරියෝ අවනත වූහ.
විවේක කාලය අවසන් බව හඟවමින් සියලු දෙනාම ආපසු ශාලාව කරා ගමන් කළහ.
මතු සම්බන්ධයි......