පළමුවන කොටස මෙතැනින්
"කලින් නොතිබුන අමුතු ජාතියේ දේවල් වගයක් තියෙනවා මහාචාර්යතුමා.....මෙහෙන් එන්න."
ජෝන් අසළ තිබූ උස් වැලි තලාවක් මතට දිව ගිය අතර අනෙක් සගයෝ ඔහු පසුපසින් යුහුසුළුව ගමන් කළහ.
"අර බලන්න මහාචාර්යතුමා අන්න................"
ජෝන් පිරමීඩයේ පාදමේ ශීර්ෂයක් දෙස ඇඟිල්ලක් දිගු කරමින් පැවසීය.
සැබ්වින්ම ඊළඟට දුටු දෙයින් සියලු දෙනාම ගල් ගැසී බලා සිටිනු පෙනිණි.එහි වූයේ මහා පිරමීඩයේ පාදම ශීර්ෂ හතරෙන් ඉහළට මතු වූ ලෝහමය ස්වරූපයක් ගන්නා ස්ථම්භාකාර ව්‍යුහ හතරකි.දුරින් සිට නිරීක්ෂණය කරන්නෙකු පිරමීඩයට සාපේක්ෂව ඒවා "කුඩා" යනුවෙන් හැඳින්වුවද ඒ අසළට ළඟා වූ BF-01 කණ්ඩායම,එම යෝධ ව්‍යුහ හා සලකන කළ කුහුඹුවන් මෙන් විය.
"දෙවියනේ මේ මොනවද මේ........" ලූකස් කෑ ගැසීය.
"මට හිතාගන්නත් බෑ.....ඒත් මේව පොළවෙන් මතු වෙලා තියෙන්නේනම් ඊයෙ රෑ වෙන්න ඕනේ."
මහාචාර්ය වරයාගේ කටහඬෙහි ත්‍රාසය ගැබ්වී තිබිණි.
එදෙස බලන ඕනෑම අයෙකුට ඒවා පොළවෙන් මතු වී තුබූ ව්‍යුහයන් බව තේරුම් ගැනීමට එක් බැල්මක් පමණක් ප්‍රමාණවත් විය.සත්‍ය වශයෙන්ම අළු පැහැ මතුපිටක් සහිත එම සිලින්ඩරාකාර ස්ථම්භ හතර මහා පිරමීඩය ආරක්ෂා කිරීමට නැගී සිටි මුරකරුවන් සතර දෙනෙක් මෙන් දිස්විය.
"ලූකස්.....මට හිතෙන විදියට මේක එච්චර හොඳ දෙයක් නම් වෙන්න බෑ...."
මහාචාර්යවරයාගේ මුහුණේ වූයේ බැරෑරුම් ස්වභාවයකි.
"අන්න බලන්න මහාචාර්යතුමා අර අතන..අන්න අර දකුණු අත පැත්තෙ ස්ථම්ය පාමුල මොකක්දෝ දෙයක් තියෙනවා,මට පේන විදියටනම් ඒක මොකඛරි දොරටුවක් වගේ දෙයක් වෙන්න ඕනේ"
ලූකස් විශ්මයෙන් මුරගෑවේය.
"මේක අපි පුලුවන් තරම් ඉක්මනට මූලස්ථානයට දැනුම් දෙන්න ඕනෙ,ජෝන් එයාලට රේඩියෝ පණිවිඩයක් යවන්න පිරමිඩ් එක ළඟට එන්න කියලා ඉක්මනටම,වෙන කිසිම දෙයක් කියන්න එපා........"
"ලූකස්,අන්න අර බ්ලන්න අර........"
කණ්ඩායමේ තවකෙකු දකුණු ක්ෂිතිජය දෙසට අත දිගු කරමින් කෑ ගැසුවෙන් සියලු දෙනාම ඒ දෙස හැරී බැලූහ.
දකුණු අහස් ක්ෂිතිජය දුඹුරු පැහැ ගැන්වී තිබිණි.කාන්තාර තලයෙන් නැඟුනු දූලි වලා නුඹ ගැබ පුරා පැතිරී ගොස් භයංකාර රටා මැවීය.
"දෙවියනේ වැලි කුණාටුවක්!!!!!!!! "
ජෝන් ත්‍රාසයෙන් කෑ ගැසුවේය,
"ඉක්මන් කරලා රේඩියෝ පණිවිඩයක් යවන්න.මෙතනට චොපර් එකක් එවන්න කියන්න."
මහාචාර්ය වෙල්ෆ්ස් පැවසුවේය.
"වැඩක් නෑ එයාල මේ කුණාටුව අස්සෙ චොපර් එවන්නෙ නෑ,අපි ලෑන්ඩ්ස්පීඩර් එකට වෙලා ඉමු"
තවකෙක් පවසනු ඇසිණි.
"ලෑන්ඩ්ස්පීඩර් එක ඇතුලෙ සේෆ් උනාට වැලි කුණාටුවෙන් පස්සෙ සමහරවිට ඒක සම්පූර්ණයෙන්ම වැලි වලට යට වෙන්න පුලුවන්,මට නම් බෑ පණ පිටින් වැළලෙන්න." ජෝන් පැවසුවේය.
"මම හිතනවා අපිට අතන ඉන්න පුලුවන් වෙයි......."
ස්ථම්භය පාමුල දොරටුව පෙන්වමින් ලුක් පැවසීය.
"ඒක එච්චර හොඳ අදහසක් නම් නෙවේ,අපි ඕව මොනවද කියලවත් තවම හරියට දන්නෙ නෑ.............."
ම්හාචාර්යවරයා තම අප්‍රසාදය පල කළේය.
"ඒ උනාට පණ පිටින් වැළලෙනවට වඩා නම් ලුක්ගේ අදහස හොඳයි"
ජෝන් උස් හඩින් පැවසීය.
ඔහුගේ කතාව සියලු දෙනාම අනුමත කළහ.
********************************************
ක්‍රමයෙන් ඈත්වී යන නිල්වන් ග්‍රහලොව දෙස රැම්සේ බලා සිටියේ උද්යෝගිමත් බැල්මකිනි.දැන් සුදුසු කාලය පැමිණ ඇත.ආමෙන්වරුන් තම ග්‍රහලෝකය ආක්‍රමණය කිරීමට පෙර "සෝගෝ" ශිෂ්ටාචාරය දියුණුවේ හිනි පෙත්තටම ළඟා වී සිටි ආකාරය ඔහුට සිහිවිය.නමුත් ආමෙන්වරුන්ගේ අනපේක්ෂිත ආක්‍රමණය හමුවේ ඔවුන්ට කළ හැකි කිසිවක්ද නොවීය.ආක්රමණිකයින්ගේ බිහිසුණු ආයුධ වලින් තත්පර කිහිපයක් ඇතුලත වර්ග කිලෝමීටර දහස් ගණනක ප්‍රදේශ දූවිලි බවට පරිවර්තනය වූ හැටි ඔහුට තවමත් මතකයේ තිබිණි.යුද්ධය ආරම්භ වූ මුල් කාලයේ ඔවුහු ආමෙන්වරුන්ට විරුද්ධව සටන් දියත් කලත් සෝගෝ ශිෂ්ටාචාරයෙන් භාගයක් පමණ විනාශ වී ගිය තැන එම ප්රයත්නය ද අතහැර දැමූහ.චක්‍රාවාටය පුරාම යාත්‍රා කිරීමට හැකියාව තිබූ අධි තාක්ෂණික ගගන යාත්‍රා ඔවුන් සතු වුවද ආක්‍රමණය හමුවේ ඒ සියලුම දේ විනාශ වී ගොස් තිබිණි.
සෝගෝ ශිෂ්ටාචාරයේ රැකගැනීම සඳහා රහසිගත ව්‍යාපෘතියක් ආරම්භ වූයේ මේ අතරතුරය.ඉතිරි වී සිටි ජනයා අතරින් බුද්ධිමතුන් පිරිස තෝරාගෙන ව්‍යාපෘතිය ආරම්භ කෙරිණි.ආමෙන් වරුන්ගේ පහරදීම් වල ස්වභාවය අනුව ඉතාමත්ම කෙටි කාලයක් තුල සෝගෝ ශිෂ්ටාචාරය නැතිවී යාම නොවැළැක්විය හැකි වන බව ඒ වන විට සියලු දෙනාම දැන සිටියහ.එම නිසා සෝගෝවරුන්ගෙන් කොටසක් තම මව් ග්‍රහලොව වෙත ආසන්නයේම පිහිටි "සුමරු" ග්‍රහලොව වෙත සංක්‍රමණය කරවීම ඔවුන්ගේ එකම බලාපොරොත්තුව විය.කෙසේ නමුත් එම බලාපොරොත්තු සියල්ල කඩවී ගියේ ඒ වනවිට සුමරු ග්‍රහලොව සෝගෝවරුන්ගේ වාසයට සුදුසු තත්වයක නොතිබූ නිසාය.එය ඒ වන විට ජීවය ආරම්භ වෙමින් පරිණාම ක්‍රියාවලියේ ඉතා ප්‍රාථමික මට්ටමක පැවතිණි.එමනිසා එය ඔවුන්ගේ ජීවයට සුදුසු තත්වයට පත්වන තුරු සෝගෝවරුන් සංරක්ෂණය කිරීමට අවසානයේ තීරණය කෙරිණි.මේ සඳහා ,ඒ වන විට ඔවුන් සතු වූ සියලුම දැනුම හා සම්පත් යොදා ගන්නා ලදී.
ක්‍රමයෙන් විශාල වෙමින් පෙනෙන රක්ත වර්ණ ග්‍රහලොව දෙස රැම්සේ බලා සිටියේ හිස් බැල්මකිනි.අවුරුදු දහස් ගණනකට පසුව ඔහු නැවතත් තම මවු ග්‍රහලොව වෙත ළඟා වෙමින් සිටියේය.අතීත සිතිවිලි වල මතකයන් වේදනාකාරී වුවත් තමන්ට සිදු කිරීමට ඇති භාරදූර කාර්යය සිහිවීමෙන් පසු හෙතෙම එය ආයාසයෙන් මැඩගත්තේය.
********************************************
ලූකස් ඇතුලු ගවේෂණ කණ්ඩායම ස්ථම්භ ද්වාරය වෙත ළඟා වන විට ඔවුන්ට එහි නියම ස්වරූපය හොඳින් දැකගැනීමට අවස්ථාව ලැබිණි.අඩි 80ක් පමණ උසකින් යුක්ත වූ එය එමෙන් තෙගුණයක පමණ පළලකින් යුක්ත විය.ඔවුන් එහි ඇතුලු වනවාත් සමඟම මහ හඬක් නංවමින් පිවිසුම් ද්වාරය වැසී ගියේ කිසිවෙකුත් නොසිතූ පරිදිය.
මතු සම්බන්ධයි.....