සූසැට බරණින් සැරසී ගත් තරුණ කුල කතකට මැණිකක් අතින් ගෙන දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුවට තනිව ගමන් කළ හැකිව තිබූ අතීතයක් අපට හිමි ය. ඒ සාඩම්බර අතීතයේ සිට වර්තමානයට අප ආ ගමන කොතැනක හෝ මහා අතපසුවීමක් සිදු වී ඇති බව නිසැක ය. වත්මනේ මැණිකක් හෝ සූසැට අබරණ නිවෙසකවත් තබා ගත නො හැකි ය. හොරුන්, මංකොල්ලකාරයන් ජීවත් වන්නේ ඒවාට ඇස ගසාගෙන ය.නිවෙස තුළ තබා ගැනීම ගැන එසේ නම් ඒවා සමඟ එළියට ඒම ගැන කථා කරන්නට ද දෙයක් නැත.
තනිව සිටින ඇය දෙස බලන්න...
ජීවිතයේ බර ගැන හාංකවිසියක් නො දැන සමනල සිතැඟිවලින් හද පුරවා ගත් දයාබර දියණිය හෝ සොයුරිය ඔබට පෙනෙනවා ද? හෙට ලොවට කිරි පොවන දයාබර අම්මා ඇය යි. ඒ අනෙකෙකුගේ සොයුරියක් නො වේ. දැයේ පිනෙන් පහළ වූ ඔබේ ම සොයුරියයි,නැත්නම් දියණිය යි. ඔබේ ප්‍රාණය වැනි වූ සුරතල් දියණිය යි. ඒ මල් කැකුල රැක ගැනීම ඔබ සතු යි.පොත් බෑගයක් කරේ දමාගෙන උපකාරක පංතියක් කරා යන ඇය දෙස බලන්න.පාසල් යන් ඇය දෙස බලන්න.උදේ රැයින් නිවෙසින් පිටමන්ව රැකියාවට පැමිණෙන ඇය දෙස බලන්න. අඳුරු වැටෙන වෙලාවේ නිවෙස කරා දිව යන ඇය දෙස බලන්න.නැවත වරක් හැරී බලන්න. ජීවිත සටනටඋර දෙන ඇය ඇගේ පවුල වෙනුවෙන් මහා කැප කිරීම් කරන්නියක් නො වේ ද? තාරුණ්‍යයේ බලාපොරොත්තු මත හෙට දවස ගොඩ නගන්නට වෙහෙසෙන ඇය ඔබේ ම සොයුරිය යි……. ඇයට රැකවරණ සැලසීම ඔබ සතු යි. ස්වාමියාගේ ද දුවා දරුවන්ගේ ද ගේදොර හා නෑදෑ හිත මිතුරන්ගේ ද හුදු මහත් කටයුතු වෙනුවෙන් දිවා රැය නො බලා වෙහෙස වන ඇය දෙස බලන්න….. ඒ ඔබේ මවයි….. ඔබේ ම බිරිඳ යි…… .ඇයට යම් විපතක් වනතුරු ඔබට බලා සිටිය හැකි ද????
ඇය සුරක්ෂිත කර ගැනීමඔබේ වගකීම යි!!!!
මඟ තොටේ, දුම්රියේ හෝ බස් රථයේ, කාර්යාලයේ සහ නිවසේ ඔබට මුණ ගැසෙන්නේ ඇය යි. ඒ අනෙකෙකුගේ මව, බිරිඳ.පෙම්වතිය, දියණිය හෝ සොයුරිය නො ව ඔබේ ම මව, බිරිඳ,පෙම්වතිය, දියණිය හා සොයුරිය යි.ඇය කොතැන දී කෙලෙසින් මුණ ගැසුණත් ඔබේ දර්ශනය ඇයට අපහසුව, බිය හෝ සැකය ඇති කරවන්නක් නො ව සුරක්ෂිත බවේ හැඟීම් ඇති කරවන්නක් ම විය යුතු යි. ඔබ පමණක් නො වේ, ඔබේ පියා, සොහොයුරා, පුතා, හිතවතා යන සියල්ලෝමත් මේ වගකීම නිසියාකාරයෙන් ඉටු කරන්නේ ද යන්න ගැනත් විමසා බැලීමේ වගකීම ඔබ සතු යි.
තනි තනිව ඔබ නිවැරදි වන්නේ නම්, පොදුවේ සියල්ලන් නිවැරදි කළ හැකි නො වේ ද?
එනිසා දැනුවත් විය යුතු යි, එසේ ම දැනුවත් කළ යුතු යි.භාග්‍යවතුන් වහන්සේ වදාළා කාන්තා පාර්ශ්වයට ගෞරව, සම්මාන, සැලකිලි දැක්වීම, අපරිහානී ධර්මයක් ලෙස. එය අනුගමනය කරන තාක් දියුණුවක් මිස පිරිහීමක් ඇති නො වන බවයි බුද්ධ භාෂිතය. දහමින් බැහැර වූ ජාතියක් දිනෙන් දින ම පිරිහෙනු මිසක දියුණුවක් නම් කෙලෙස, කෙදිනක දකින්න ද?
‘ඔබ’ නිවැරදි නො වනතාක් ‘ඇය’ මේ සමාජයට බියෙන් ජීවත් වනු ඇති.‘ඇය’ මේ සමාජය ගැන පිළිකුලෙන් ජීවත් වනු ඇති. ‘ඇය’ මේ සමාජය ප්‍රතික්ෂේප කරමින් ජීවත් වනු ඇති. ‘ඇය’ එසේ ජීවත් විය යුතු ද?එය එසේ නො විය යුතු වගට ඔබ සියල්ලන් එකඟ වූ දිනයක මේ කටුක සමාජ යථාර්ථය සහමුලින් ම කණපිට හරවන්නට අපට අපහසු නැත…… එදිනට දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුවෙන් කෙළවර වන මේ සොඳුරු දිවයින එකසේ ම බිය රහිත වනු ඇත. සැක රහිත වනු ඇත. ලක්මව සාඩම්බර වනු ඇත.